Saturday, November 23, 2013

කිතුණු කම්කරුවන්ගෙ දිලිසෙන දහදියබිදු......


අනුරාධපුර මිහින්තලේ ප‍්‍රධාන මාර්ගයෙහි අසෝකපුර හන්දියෙන් වම් අත දෙසට දිවෙන අතුරු මාර්ගයේ කිලෝ මිටර් 2 ක් පමණ ගිය පසු අලූතින් ඉදිවූ නිවාස දිස්වේ. ඒ නිවාස අතුරින් මතුවන කුඩා දෙව්මැඳුර වූ කලී අසෝකපුර ශු. ජූඞ් මුනිදුන්ගෙ දේව්මැඳුරයි. 1983 උතුරේ ඇතිවූ ජනවාර්ගික අර්බුදය හේතුවෙන් යාපනයේ සිටි සිංහල කතෝලිකයින් ඇතුළු පිරිසක් 1983 මාර්තු 29 වන දින සරණාගතයින් ලෙස අනුරාධපුර බැස්ටියන් විශ‍්‍රාම ශාලාවට පැමිණියහ. වසර 2 ට ආසන්න කාලයක් ඔවුන් එහි පදිංචි වී සිටි අතර, එහි සිටි සමහර කතෝලික පිරිස් දිව්‍ය පූජාව සඳහා අනුරාධපුර ශු. ජූසේ මුනි ආසන දෙව්මැඳුරට පැමිණි බව පැවසේ.

1986 වර්ෂයේ දී රජය විසින් මෙම අවතැන්වූ ජනතාව වෙත අවධානය යොමුකර වර්තමානයේ ඔවුන් පදිංචි භූමිය ඔවුන්ට පවරා දී එය ‘අසෝකපුර’ නමින් නම් කරන ලදී. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන විවිධ ජාතීහු මෙහි මුල් පදිංචිකරුවෝ වෙති. නිවාස තනා ගැනීමටත්, පානීය ජල පහසුකම් වෙනුවෙන් රජය විසින් විවිධ අවස්ථාවල ජනතාවට උදව් කරන ලදී.


අසෝකපුර ගම්මානයේ ජීවත් වූ සිංහල, දෙමළ කතෝලික පවුල් 14 ඉන්පසු තම අවධානය යොමු කළේ තම අධ්‍යාත්මික ජීවිතය වෙනුවෙනි. සියල්ලන් එකතුවෙන් පොල් අතු වලින් සෙවිලිකල මඩුවක් තනා එහි දිනපතා විවිධ භක්ති අභ්‍යාසවල යෙදුනාහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අනුරාධපුර ශු.ජූසේ මුනි ආසන දෙව්මැඳුරේ පියවරු සෙනසුරාදා දින දිව්‍ය පූජාවක් මෙම ගම්මානයෙහි පැවත්වීමට කටයුතු කළහ. ඒ සමඟ දහම් පාසල ද ඇරඹීය.

ගර බර්නාඞ් කුරේරා පැ.තු.නි. පියතුමා අසෝකපුර දෙව්මැඳුරක් ගොඩනැගීම සම්බන්ධව 'ක‍්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ' අවධානයට යොමුකළ අතර, 2000 වර්ෂයේ ඇතිවූ සුලිසුලං තත්ත්වය හේතුවෙන් වන රක්ෂිතයේ තේක්ක ගස් ඉදිරිවැටීමත් සමඟම ගරු එරික් ප‍්‍රනාන්දු පියතුමාගේ මූලිකත්වයෙන් අක්කර කාලක ඉඩම් ප‍්‍රමාණයක් එම දෙව්මැඳුරට වන රක්‍ෂිතයෙන් නිදහස කර ස්ථිර දෙව් මැඳුරක් ඉදිකිරීමට මූලික පියවර තබන ලදී. 




2004 සැප්තැම්බර් 27 වන දින දෙව්මැඳුරේ අත්තිවාරම දැමීමට මුල්ගල තබන ලදී. ඉන්පසු පියතුමාගේ දායකත්වයෙන් ගම්වාසීන්ගේ ශ‍්‍රමය ද ඇතිව මෙම දෙව්මැඳුර ගොඩනගන ලදී. මේ සඳහා ක‍්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සිය විදේශීය හිතවතුන්ගේ දායකත්වය ද ලබා දුන්නේය. මිහින්තලේ මීසමට අයත් අසෝකපුර ගම්මානයෙහි ඉදිකර ඇති ශු. ජූඞ් මුනිඳුන්ගේ දෙව්මැඳුරේ අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්ද්‍රාදී හිමිපාණන් අතින් 2005 මාර්තු 31 දින ආසිරි ගන්වා ශු.ජූඞ් මුනිතුමාට කැපකරන ලදී. මෙම කටයුතු ගරු එරික් ප‍්‍රනාන්දු පියතුමා සමඟ අසෝකපුර ගම්වාසීන් විසින් සංවිධානය කරන ලදී. විශේෂ ආරාධිත අමුත්තා ලෙස මිහින්තලේ මිහිඳු ආරණ්‍ය වන සේනාසනාධිපති ගෞරවනීය පණ්ඩිත ගලහත සුමන ස්වාමීන් වහන්සේ ද වැඩම කරන ලදී. 



ගරු එරික් ප‍්‍රනාන්දු පියතුමා ගෙන් පසුව මිහින්තලේ මීසම් සේවක වූයේ ගරු සරත්  පිරිස් පියතුමාය. එතුමා 'ක‍්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ' අනුග‍්‍රාහකත්වය මත වර්තමානයේ දෙව්මැඳුරේ අඩුපාඩු සපුරාලන්නට කටයුතු කළේය. වාර්ෂික මංගල්‍යය ක‍්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සිය සාමාජික සාමාජිකයන් හා ගමේ ජනතාවද සමඟ පවත්වති. ඒ හා සමගාමීව ක‍්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සිය පවුල් හමුවද පවත්වයි. දෙවියන් වටා එක්රොක් වීම ඔවුන් ලබන විශාල ජයග‍්‍රහනයකි. දේවස්ථානයේ වැට මායිම් වන්නේ බෞද්ධ පන්සලටය. එහි වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේගේ හොඳ හිත සහ සහයෝගිතාව මුළු රටටම ආදර්ශයක් ලබාදෙයි.

මිහින්තලය මීසම් සේවක පියතුමන් අති දුෂ්කර වටපිටාවක් තුළ මෙම දේවස්ථානයටත් එහි කතෝලික ජන ජීවිතයට ද කරන්නාවූ සේවය ඉතා අගනේය.  ක‍්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සිය වාර්ෂික පවුල් හමුවට සහභාගී වීමත් ඔවුන්ට විශාල ධෛර්යයකි, විශාල සතුටකි.

කමනී පිගේරා
අනුග‍්‍රහය ඥානාත්‍ථ ප‍්‍රදීපය

Published by: Ranjan De Mel.



No comments:

Post a Comment