Friday, April 4, 2014

දේව රාජ්‍යයේ දොරටු විවර කළ විමුක්තිදායක ගැලවුම්කරුවා.


ජේසු සමිඳුන්ගේ විමුක්තිදායක ක‍්‍රියාවලිය වන දුක්විඳීම, මරණය සහ උත්ථානය නම් වූ තෙවැදෑරුම් පාස්කු අභිරහස උත්කර්ෂවත් අන්දමින් හා ඉමහත් ගැඹුරින්   "පරිස්මරණය" කරන්නට, එනම් එහි අරුත අද දවසේ නැවත ජීවත් කරවන්නට වෙර දරණ කාලයයි.


විමුක්තියේ ජේසු

ඉපදුනේ ගව මඩුවක, හැදුනේ වැඩුනේ වඩු මඩුවක, පැටළුවේ අව නඩුවක, මියැදුනේ කුරුසියක.

උපතේදීම දුප්පතෙක්, අධ්‍යාත්මික දිළිඳුකම අගය කල කෙනෙක්, හිස තබන්නට තැනක් නැති මුත්, මුලූ මහත් සක්වලටම අයිතිය කීවෙක්.

දේව ගරු බිය ඇති යහපත් ජුදා ආගමිකයෙක්, මහත් වූ බැතියකින් හා අවබෝධයකින් වත් පිළිවෙත් හා නීති රීති අනුගමනය කළ මුත් ඇතැම් නීති රීතිවලට එරෙහි වූ අයෙක්, නීතිය සම්පූර්ණ කරන්නට පැමිණි බව පැවසූවෙක්.

සමාජයේ කොන් කරන ලද අය, පව්කරුවන්, රෝගීන්, විජාතිකයින් පිළිගත් කෙනෙක්, ඔවුන්ගේ පව් කමා කර සුව කර නිදහස් කළ කෙනෙක්.

ඇදහූ දෙවිඳු පේ‍්‍රමය තුළ කටයුතු කළ කෙනෙක්, සතුරන්ට පේ‍්‍රමය කරන්න. එකට එක නොකරන්න. වෛර කරන්නන් උදෙසා යාඥා කරන්න ඉගැන්වූ කෙනෙක්. ජනතාව පීඩාවට පත් කරමින් දයාවෙන් තොරව පිට පොත්තට මුල් තැන දුන් ආගමික නායකයින් හා ඔවුන්ගේ  ක‍්‍රියාවන් හෙලා දකිමින් අභියෝගයට ලක් කල කෙනෙක්.

බොහෝ වද දී මරනු ලැබුවද මරණය පරාජය කර සකල විශ්වයටම උත්ථානයේ නව ජීවනයේ රහස ප‍්‍රකාශ කල කෙනෙක්.

උන්වහන්සේ ලියූ දෙයක් නැත, එහෙත් එතුමා ගැන ලියැවුණු දෙයට සීමාවක් නැත.

අවුරුදු තුනකින් එතුමාගේ දේශනා නිමා විය. එහෙත් එහි හරයට කාලසීමාවක් නැත.

එතුමා මානව ඉතිහාසය නව මං ගැන්වූ සංධිස්ථානයකි. කාලයද යුගයද අද මනිනු ලබන්නේ එතුමා  කේන්ද්‍ර කරගෙනය.

ජේසුස් වහන්සේගේ මරණයට බලපෑ ආසන්නතම හේතුව අපට කිසිදා අමතක කල නොහැක. සැබවින්ම වැදගත් වන්නේ උන්වහන්සේව මැරුවේ "කෙසේද?" යන්න නොව "ඇයිද?" යන්නයි.




පේ‍්‍රමය, පිළිගැනීම, යුක්තිය හා සමාව දීම මත පදනම් වූත් සියලූ දේශපාලනික හා ආගමික මර්දන වලින් තොරවූත් සමාජයක් දෙවියන් වහන්සේ සැලසුම් කරන බව ජේසු සමිඳුන්ගේ පණිවුඩය විය.

සමාජයේ කොන් කෙරූවන් වැළඳ ගනීම, අසරණ, පීඩිත දිළිඳුන්ගේ පැත්ත ගැනීම, තරාතිරම් නොබලා මානව අයිතීන්, සමානාත්මතාවය, සාධාරණය ගැන කතා කිරීම හා ක‍්‍රියා කිරීම පරිසිවරුන්ට, නායක පූජකයන්ට හා ඔවුන්ගේ හිතෛශීන්ට අනුව ජේසු කල මහා පාප කර්මයකි. ජාති ද්‍රෝහි, දේව ද්‍රෝහි, අධිරාජ්‍ය විරෝධි ක‍්‍රියාවකි.

එලෙස ජේසුගේ මරණය දේව සැලැස්ම තුල එතුමා මුල පිරූ ජීවිත ක‍්‍රමයේ හා දේශනා කල පණිවුඩයේ ප‍්‍රතිඵලයකි. එතුමා ප‍්‍රාර්ථනා කල සාමාජීය හා ආගමික විකල්ප සමාජයේ බහුතරයකට බලාපොරොත්තුවක් දුන් නමුදු එය මෙකල මෙන් එකලත් බොහෝ සෙයින් විප්ලවකාරී ක‍්‍රියාවක් විය. එම නිසා අධිරාජ්‍ය විරෝධී කැරලිකාරයෙකු ලෙස උන්වහන්සේට මරණීය දණ්ඩනය හිමි විය.



ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබුවද මරණයට උන්වහන්සේව යටපත් කරන්නට නොහැකි විය. දෙවි පියාණන් වහන්සේ උන්වහන්සේව මරණින් උත්ථාන කළසේක.

මෙලෙස ජේසූස් වහන්සේ මාර්ගයද, සත්‍යයද, ජීවනයද බවට, විමුක්ති මාර්ගය බවට දෙවි පියාණන් වහන්සේ සහතික කළසේක.

උන්වහන්සේ දුක් විඳ, ජීවිතය පූජා කර අපට පෙන්වන්නේ මැරෙන හැටි නොව ජීවිතය ජයගත යුතු ආකාරයයි.


ක්‍රිස්තුනි ඔබට නමස්කාරකොට ස්තුති ප්‍රශංසා කරමු 

මක්නිසාදයත්, ශ්‍රි කුරුසයෙන් ඔබවහන්සේ මේ ලෝකය ගලවාගත් සේක.


රංජන් මැල් 
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.)




No comments:

Post a Comment